එක්නැලිගොඩ, සුගීර්තරාජන් සහ ජනවාරි 24

First published on 24th January 2020 at https://www.vikalpa.org/?p=36686

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නන් විසින් ජනවාරි මාසය “කළු ජනවාරිය” ලෙස නම් කර  ඇත. මෙය විවිධ මාධ්‍යවේදීන්ගේ ඝාතන , අතුරුදහන් වීම්, හිංසා කිරීම් මෙන්ම මාධ්‍ය ආයතන වලට පහර දීම් සියල්ල ජනවාරි මස සිදුවීම සන්දර්භයෙහි ලා සලකනු ලැබීය.

ජනවාරි මස 24 වැනිදා එවැනි අඳුරු දිනයකි. ත්‍රිකුණාමලයෙහි පදිංචි දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ මහතා 2006 ජනවාරි මස 24 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී. කොළඹ පදිංචි සිංහල කාටූන් ශිල්පී සහ මාධ්‍යවේදී ප්‍රගීත්  එක්නැලිගොඩ මහතා ද 2010 ජනවාරි මස 24 වන දින අතුරුදහන් විය.

මතකයෙන් ගිලිහී ගිය  මාධ්‍යවේදීයෙකුගේ ඝාතනය : සුබ්‍රමනියම් සුගීර්තරාජන්

SSR ලෙස වඩා ප්‍රකට සුගීර්තරාජන් මහතා දිනපතා පළවන දමිළ පුවත්පතක් වන සුදර් ඔලි හි අර්ධකාලීන ප්‍රාදේශීය  මාධ්‍යවේදීයෙකු ලෙස ක්‍රියා කළේය. ඔහු දෙදරු පියෙකි. තවත් මාධ්‍යවේදියෙකු සහ SSR මහතා ගේ සමීප මිත්‍රයෙකු මා SSR මහතා ට වෙඩි තබා ඇති ස්ථානය ට රැගෙන යන ලදි. එය ආසන්න වශයෙන් ආණ්ඩුකාරවරයා ගේ කාර්යාලයට මීටර් 100ක දුරින් සහ ඔහුගේ ම නිවසට මීටර් 200 ක දුරිනි. SSR මහතා ගේ තවත් මිතුරෙකු වන මාධ්‍යවේදීයෙකු පවසා සිටියේ SSR මහතා මෑතක සිට අනාරක්ෂිත භාවයෙන් පෙළෙමින් සිටි බවත් එම නිසා වෙනත් ස්ථානයක ඇති ආරක්ෂිත නිවසක් සොයමින් සිටි බවය. ඇත්තෙන්ම නිවසක් සොයා ගෙන තිබුණ ද ඔහු එයට පිටත් ව යාමට ප්‍රථමයෙන් ඝාතනය ට ලක් විය. මා කතා කළ සියලුම දෙනා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ඝාතනය ට ආසන්නතම හේතුව විය හැක්කේ “Trinco 5 Case” ලෙස ප්‍රසිද්ධ වූ 2006 ජනවාරි මස දෙවන දින ත්‍රිකුණාමලය වෙරළේ දී ඝාතනය කරන ලද තරුණයින් පස් දෙනාගේ ඡායාරූප ගැනීම යි. මා හඳුනන SSR මහතා ගේ තවත් මිතුරෙකු ප්‍රකාශ කර සිටියේ ජනවාරි මස දෙවන දින උදෑසන SSR මහතා තමාට මෘතශරීරාගාරයේ තැම්පත් කර ඇති ත්‍රිකුණාමලය වෙරළේ දී ඝාතනය කරන ලද තරුණයින් ගේ මෘත ශරීරවල ඡායාරූප ගැනීම ට අවශ්‍ය බව තමාට පවසා සිටි බවයි. අප පොදු මිතුරා SSR මහතා කැමරාවක් ද සහිතව රෝහලට ඇරලවා ඇත. ඔහුට අනුව හමුදාව විසින් මියගිය තරුණයින් ගේ පවුලේ ඥාතීන් ට තබා කිසිවෙකුටත් මෘත ශරීරාගාරයේ ඇති සිරුරු බැලීමට ඉඩ සලසා නොමැත. නමුත් SSR මහතා විසින් බල කර ඇති අතර ඔහු විසින් ලබා ගනු ලැබූ ඡායාරූප ජනවාරි මස 4වන දින සුදර් ඔලි පුවත්පතෙහි පළ විය. තරුණයින් වෙඩි තබා ඝාතනය නොවූ ලෙස පෙන්නුම් කර තිබූ ඡායාරූප මතභේදයට ලක් කරමින් ඔවුන්ගේ සිරුරුවල තිබූ වෙඩි සලකුණු SSR මහතා ගේ ඡායාරූප වලින් මොනවට පිළිබිඹු වී තිබිණි.  Reporters sans Frontieres (RSF)  විසින්  ප්‍රකාශ කර සිටියේ SSR මහතා ගේ ඝාතනය ට පෙර දින ද ඔහු විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ EPDP ඇතුලු දමිළ පාර්ලිමේන්තු කණ්ඩායම් මඟින් සිදු කරන ලබන විවිධ හිංසා පීඩා කිරීම් සම්බන්ධයෙන් විස්තර කරන ලද බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි SSR මහතාගේ මාධ්‍යවේදී මිතුරෙකු මා හට ඔහුගේ සහ SSR මහතාගේ සම්බන්ධය පිළිබඳ වත් ඔහුගේ මරණයෙන් පසු තත්වය පිළිබඳවත් පවසා සිටියේ ය. ඔහු කියා සිටියේ SSR මහතාගේ ඝාතනය දැන ගත් සැනින් ඝාතනය සිදු වූ ස්ථානය ට තමා ගිය බවත් පසුව සිරුර බැලීමට රෝහලට හෝ අවමංගල්‍යයට වත් සහභාගී වීමට බිය වූ බවයි. දින දෙකකට පසු ඔහුට “සතුරන් නැසීමේ බලවේගය” හෙවත් “Force destroying the Enemy” යනුවෙන් වන කණ්ඩායමකින් ලිපියක් ලැබී තිබේ. එම ලිපිය මඟින් තමාට වන්නි කොටි ත්‍රස්තවාදීන් සඳහා ප්‍රචාරක කටයුතු කරන බව ට චෝදනා එල්ල කර ඇති බවත් එවැන්නන් තිදෙනෙක් හඳුනා ගෙන ඇති බවත්, එක් අයෙකු ට (සුගීර්තරාජන් මහතා) තීන්දුව ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රකාශ කර ඇති අතර තමාට ද ඊළඟ අවස්ථාව ඇති බැවින් දින ගණන් කරමින් සිටින්න යැයි අනතුරු අඟවා ඇත.

මාධ්‍යවේදීයෙකුගේ අතුරුදහන් වීම: ප්‍රගීත්  එක්නැලිගොඩ

SSR මහතා මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ද තම කාටූන් චිත්‍ර සහ ලිපි මඟින් විවිධ විචාර සහ හෙළිදරව් කිරීම් සිදු කළ බැවින් අදාළ පුද්ගලයන්ගේ උදහසට ලක් ව සිටි අයෙකි. එක්නැලිගොඩ මහතා ද පුතුන් දෙදෙනකුගේ පියෙකි. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව CID මඟින්  අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තා වලට අනුව එක්නැලිගොඩ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ  රාජගිරිය ප්‍රදේශයේ දී හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් පැහැර ගෙන ගොස් ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරේ තබා ඔහු විසින් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල සම්බන්ධව රචනා කරන ලද ග්‍රන්ථයක් පිළිබඳව ප්‍රශ්න කිරීම් වලට ලක් කර ඇත. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ විමර්ශන වාර්තාවලට අනුව පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන් විසින් තම ගමන නිසි වාර්තා තැබීමකින් තොරව හා අදාළ ගමන් ගත් වාහන සම්බන්ධයෙන් තොරතුරු  සටහන්නො නොකොට  විසි පස් වන දින සිට විසිහත් වන දින පස්වරුව දක්වා අක්කරෛපත්තුව සිට ගිරිතලේ දක්වා ඔහු රැගෙන ගොස් තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම නඩුව පැවරු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නීතිඥයින් විසින් දිගින් දිගටම අධිකරණය හමුවේ කියා සිටියේ හමුදාව මඟින් සාවද්‍ය තොරතුරු සපයන බවත්, සාක්ෂි ඇති බව ප්‍රතික්‍ෂේප කරන බවත්, සාක්ෂි සැපයීම ප්‍රමාද කරන බවත් සහ විමර්ශන කටයුතු සහ අධිකරණය නොමග යවන බවත්ය. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ හමුදාව විසින් විමර්ශන කටයුතු කෙරෙහි අවම සහයෝගයක් දක්වමින් බාධා එල්ල කරන බව සහ සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ය. 2010 ජනවාරි 25 එක්නැලිගොඩ මහතා ව ගිරිතලේ හමුදා කඳවුරේ දී දුටු  සහ ප්‍රශ්න කරන ලද ප්‍රධාන සාක්ෂිකරුවකු විසින් ගිරිතලේ හමුදා කඳවුර තුළදී ඔහුගේ ජීවිතයට හානි සිදු කිරීමට දැරූ ප්‍රයත්නය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

එක්නැලිගොඩ මහතා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සත්‍ය සහ යුක්තිය ඉල්ලමින් සිදු කරන ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට විරුද්ධව පෝස්ටර් පත්‍රිකා එවකට ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කොට තිබිණි.  සැකපිට අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරන ලද නිලධාරීන් ගේ එදිරිවාදිකම් ද නොසලකා හරිමින් එතුමිය විසින් අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් තනිවම පවා අධිකරණය හමුවට සිය වරකට වඩා ගොස් ඇත. සැකකරුවන් ට පක්ෂ ව සිටින්නන් විසින් ද එතුමියට එදිරිවාදිකම් කර ඇති අතර මේ නිසා එක්නැලිගොඩ මහත්මිය විසින් එම බලපෑම් පිළිබඳව පොලිසියට වාර ගණනාවකදී  පැමිණිලි කර ඇත.  මින් එක් පැමිණිල්ලක් වුයේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  ගලබොඩ අත්තේ ඥානසාර හිමිට විරුද්ධ පැවති නඩු  විභාගයයි. මැදිහත් සමාදානයක් හෝ කරුණු සමථයකට පත් කිරීමක් වෙනුවට අධිකරණ ක්‍රියාවලියක් මඟින් සාධාරණය ඉටු කර ගැනීම සඳහා ඇය විසින් මෙම අධිකරණ ක්‍රියාවලියට ඒ අනුව එළඹිණි.

ප්‍රකාශනයේ නිදහස 

මා හට හැඟී යන අයුරින් ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඇති වූ සිදුවීම්  පිළිබඳව සඳහන් නොකිරීමෙන් මෙම ලිපිය අසම්පූර්ණ විය හැක. 2017 වසරේදී මා හට ඉතා ප්‍රබල සහ සැලකිය යුතු තරමේ හැඟීමක් ඇති කළ සිද්ධි කිහිපයක් හරහා මා මෙය සිදු කිරීමට මම ප්‍රයත්න දරමි. කොළඹ  අවට වෙසෙන  බන්ධනාගාර සමූහ ඝාතනයකට විරුද්ධව හඬ නඟන ව්‍යාපාරයක නිරත වන පුද්ගලයෙකු ගේ නිවසට වෙඩි තැබීම,  මානව හිමිකම් නීතීඥයකු ට නාඳුනන දුරකථන ඇමතුම් වලින්  මරණ තර්ජන කිරීම, තවත් එවැනිම මානව හිමිකම්  නීතීඥයකු ට එවකට අධිකරණ අමාත්‍යවරයාගෙන් අන්‍ය ආගම් කෙරෙහි ඇති පීඩන වලට එරෙහි වීම සම්බන්ධයෙන් තර්ජන එල්ල වීම සහ මාස ගණනක සේවක වර්ජනයක් අතරතුර වෘත්තීය සමිති නායකයෙකු ද පැහැර ගෙන ගොස් තිබීම එයින් කීපයකි. උපවාසයේ නිරතව සිටි අතුරුදහන් වූවකුගේ බිරිඳ පීඩාවට ලක් වීම, යුද්ධය නිසා මියගිය අයගේ සැමරුම නැවත්වීම, එහි සංවිධායකයන්ට හිරිහැර කීරීම සහ විමර්ශනයට භාජනය කිරීම , රාජ්‍ය ආයතනයක් ඡායාරූප ගත කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් තරුණයින් පිරිසක් ප්‍රශ්න කර තර්ජනය කිරීම, මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම් වලට කැඳවීම,  ඔවුන් විසින් අතුරුදහන් වීම සහ හමුදාකරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වාර්තා කිරීමෙන් වැළැක්වීම සහ තවත් කරුණු මේ අතර වේ. අත්තනෝමතික ලෙස වෙබ් අඩවි අවහිර කෙරිණි.    කිසිඳු මාධ්‍යවේදීයෙකු 2017 වසරේදී  ඝාතනය හෝ අතුරුදහන් වූවේ නොමැති වුවත් පැහැදිලිවම එය නිදහස් අදහස් ප්‍රකාශනය අවහිර කළ වසරක් ම විය. (මෙහි මුල් ඉංග්‍රීසි  ලිපිය  2018 දී පළ වූ හෙයින් 2017 සිදුවීම් පමණක්  පාදකකොට ගෙන  ලියුම්කරු විසින් මෙය ලියා ඇති බව සළකන්න).

එක්නැලිගොඩ, සුගිර්දරාජන් සහ අනෙකුත් වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් වනඅපේක්ෂාව 

එක්නැලිගොඩ මහත්මිය ගේ ධෛර්යසම්පන්න, අධිෂ්ඨානගත  ව්‍යාපාරය සහ සැලකිය යුතු ජාතික සහ ජාත්‍යන්තර අවධානය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ  විමර්ශන කටයුතු හේතුවෙන් 2015-2016 වසර තුළදී  එක්නැලිගොඩ මහතා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.  නමුත් හමුදාවෙන් ලද හීන සහයෝගය සහ එවකට ජනපති ප්‍රසිද්ධියේ සැකකරුවන් සිර භාරයේ රඳවා ගැනීම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මූලික සැකකරුවන් ඇපමත නිදහස් වීම යන කරුණු පදනම් කරහෙන නඩුවේ  වර්ධනය ක්‍රමයෙන් හීන වීමටත් පසුබට වීමටත් ලක් විය. එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීමට සාපේක්ෂ ව ඊට වසර 4කට පෙර සිදු කරන ලද සුගර්තරාජන් මහතා ගේ ඝාතනය ට ලැබුණු ජාතික හා ජාත්‍යන්තර අවධානය අඩුය. ඒ සම්බන්ධයෙන් ඇති නඩුව සහ විමර්ශන කටයුතු වර්ධනයක් නොපෙන්වුවා සේම  ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකපිට අත් අඩංගුවට ගැනීමක් ද නොමැති වීම පුදුමයට කරුණක් නොවේ.

සුගීර්තරාජන් මහතා ඝාතනයට ලක්වී වසර 14 ක් ගත වී ඇත.  එක්නැලිගොඩ  අතුරුදහන් වී වසර 10 ක් ගත වී ඇත. සුගර්තරාජන් සහ එක්නැලිගොඩ  හට සිදු වූ හිංසනයන් වැනි අසාධාරණකම් වලට වගකීමක් පොරොන්දු වූ “යහපාලන” වරම ලද ආණ්ඩුව දැන් තම පාලන කාලය හමාර කොට තිබේ.නමුත් දැන්, ඔවුන් දෙදෙනාට මෙන්ම, කළු ජනවාරියේ සිදුවූ  තවත් බොහෝ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම් වෙනුවෙන් , නඩු පැවරීමෙනුත්, වරද පිළිගැනීම සිදුවීම හරහාත්  සත්‍යය සහ යුක්තිය උදෙසා ඇති අපේක්ෂාවන් ඉටු වේ යයි සිතීම අඳුරු සහ දුරස්ථ සිහිනයක්ව තිබේ.

සංස්කාරක සටහන:  මානව හිමිකම්රු ක්‍රියාධරයෙකු වන රුකී  ප්‍රනාන්දු විසින් 2018 ජනවාරි 24 දින අප සහෝදර GroundViews  වෙබ් අඩවියට යන ලද Ekneligoda, Sugirtharajan and 24th January   නම් ඉංග්‍රීසි ලිපියෙහි පරිවර්තනයකි. සංස්කාරක මණ්ඩලය විසින් මුල් ඉංග්‍රීසි ලිපියේ සඳහන්  ඇතැම් කරුණු  යාවත්කාලින කොට තිබෙන බව සලකන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s