ජිවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට පැමිණි සරණාගතයන්ට රැකවරණය නොදීමට තරම් ඡන්ද ප්‍රචාරණය වැදගත්ද?

First published at https://www.vikalpa.org/?p=36085 on 8th Nov. 2019

මගේ පාකිස්තාන ජාතික යෙහෙළියක පසුගිය සති අන්තයේ මට එවූ කෙටි පණිවිඩයක “කරුණාකර මගේ පවුල බේරාගන්න!” යනුවෙන් ආයාචනා කොට තිබුණි. ඇය එලෙස සඳහන් කර සිටියේ ක්‍රිස්තියානි ආගමිකයන් වීම හේතුවෙන් පීඩා විඳ, පසුව පාකිස්තානයෙන් පලා ආ, ළමයින් තුන්දෙනෙකු ඇතුලුව හත්දෙනෙකුගෙන් සමන්විත ඇගේ පවුල පිළිබඳවයි. ඔවුන් සිය ජීවිතාරක්ෂාව බලාපොරොත්තුවෙන් ඔක්තෝබර් 27 වැනි දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්ස නමුත්, ශ්‍රී ලංකා ආගමන නිලධාරීන් විසින් රඳවා තබාගැනීමෙන් පසු, ඔක්තෝබර් 28 වැනි දින රාත්‍රියේ නැවත පිටුවහල් කරන කිරීම හේතුවෙනි.

ඒ සති අන්තයේම මට ලැබුණු තවත් කෙටි පණිවිඩයක “අපිට උදව් කළ හැකි කවුරුහරි ඉන්නවාද?” යනුවෙන් විමසා තිබුනේ පාකිස්තාන් ජාතික “අහ්මදි” ආගමික පසුබිමක් ඇති පවුලකි. ඔවුන් ද, පාකිස්තානයේ ඔවුන් ලක්වන පීඩාවලින් මිදීමේ අරමුණින් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට පැමිණි අය යි. නමුත් ඔවුන්ව ද නැවත පිටුවහල් කරන ලදී.

ඔවුන්ගේ බැරෑරුම් ආයාචනාවන්ට පිළිතුරු ලෙස, මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානියා ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සහ මානව හිමිකම් කොමිසම ද සම්බන්ධ කරගත්තෙමි. නමුත් ඔවුන්ගේ උත්සාහයන් ද නිෂ්ඵල කරමින්, ඒ පවුල් රටින් පිටමං කරන ලදී. මිතුරු සම්බන්ධතා හරහා අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගත් නමුත්, ඔවුන් කියා සිටියේ ඔවුන් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවල කාර්යබහුල බැවින් සහ මේ අවස්ථාවේ එම පවුල්වලට උපකාර කිරීම ඔවුන්ගේ අපේක්ෂකයන්ට අවාසි සහගත විය හැකි බව යි. සිය ජීවිතවල ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට පැමිණි පවුල් දෙකක ආයාචනාවලට වඩා ඡන්ද ප්‍රචාරණ  වැදගත් වූ බව ඉන් පැහැදිලි විය.

තාවකාලික රැඳීසිටින්නන් පිටුවහල් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත්, මේ හැර වෙනත් තාවකාලික රැඳීසිටින්නන් ද පිටුවහල් කිරීමට ලක් වූ බවත් මට දැනගන්නට ලැබිණි.

මෙලෙස පිටුවහල් කළ පවුල් දෙකම ගුවන්තොටුපළේ රඳවා තබාගත් කාලය අතරතුර තාවකාලිකව රැඳීසිටීම අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අයැදුම් කර තිබුණි. ඔවුන්ව පිටුවහල් කිරීම, තාවකාලික රැඳීසිටින්නන්ව ඔවුන් පැමිණි රටවලට නැවත පිටුවහල් නොකිරීම පිළිබඳ ප්‍රතිපත්තිය සපුරා උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම සරණාගතයන් සහ තාවකාලිකව රැඳීසිටීම අපේක්ෂාවෙන් එන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කැප වී ක්‍රියා කළ යුතු බව පෙන්වාදෙන, 2005 දී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ද, සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ට තාවකාලික රැඳීසිටින්නන් සඳහා “බාධා රහිත ප්‍රවේශයක්” තහවුරු කළ යුතු බව එහි විශේෂයෙන් සඳහන් කර ඇති 4 වන වගන්තිය ද, මින් බරපතල ලෙස උල්ලංඝනය වේ. කෙසේ වුවද, ඉහත කී අවස්ථාවල දී එම සරණාගතයන්ට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි කර තිබුණි.

ඉහත කී තාවකාලික රැඳීසිටින්නන් ගැන වූ එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ න්‍යායපත්‍රය සම්බන්ධ අවබෝධතා ගිවිසුමේ ලක්ෂණ 2006 වසරේ ජූනි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එම වසරේම මැයි මස 30 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සහ එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අතර අත්සන් කළ යොමුකිරීම් අනුදේශ අනුසාරයෙන් වැඩිදුරටත් විස්තර කෙරිණි. යොමුකිරීම් අනුදේශවල 5 (a) වගන්තියට අනුව, තාවකාලික රැඳීසිටීමේ අරමුණින් පැමිණෙන අය සඳහා උපදේශන සැසියක් පැවැත්වීමට එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව ඇති අතර, ඉන්පසු ඔවුන්ව සැලකිල්ලට ලක්විය යුතු පුද්ගලයන් ලෙස ලියාපදිංචි කරගෙන, සති 2කට බලපැවැත්වෙන තාවකාලික රැඳීසිටීම සඳහා වූ සහතිකයක් නිකුත් කළ යුතු ය. යොමුකිරීම් අනුදේශවල 5 (b) වගන්තියට අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් යන කරුණු මත, තාවකාලික රැඳීසිටීම සඳහා වූ සහතිකය එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීමෙන් පසු, යම් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළත් කරගැනීමට එරෙහිව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත විරෝධතා ගොනු කළ හැක. එමෙන්ම, යොමුකිරීම් අනුදේශයන්ට අනුව, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ආගමන – විගමන දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ එ.ජා. සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අතර රැස්වීමක් පැවැත්විය යුතුව තිබුනද, අදාළ පවුල් දෙක සම්බන්ධයෙන් නම් මේ කිසිදු ක්‍රියාවලියක් අනුගමනය කෙරුණේ නැත.

රඳවා තබාගත් කාලය අතරතුර එම  පවුල්වලට සලකා තිබුනේ ඉතා අකාරුණික ලෙසිනි. උණ රෝගයෙන් සහ උදරයේ වේදනාවෙන් පීඩා විඳිමින් සිටි අහ්මදී පවුලේ කාන්තාවක ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කරන ලෙසට කළ ඉල්ලීම් නොසලකා හරින ලද අතර, ගුවන්තොටුපළේ දී ඇයට යම් තරමකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණි. අසනීපයෙන් පෙළුණු මේ කාන්තාව දරුණු ලෙස ආතතියට හා කම්පනයට පත්ව සිටි අතර, ඉංග්‍රීසි කතා කළ නොහැකි ඇයව ඇගේ සැමියාගෙන් ද වෙන්කර තබන ලද බව ද වාර්තා වේ. ගුවන්යානයට නැගීම දැඩිව ප්‍රතික්ෂේප කරමින්, තමන්ව පිටුවහල් නොකරන ලෙස ආයාචනා කළ ක්‍රිස්තියානි ආගමික පවුල  ගුවන්යානයට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තිබුණි.

අසනීප තත්ත්වයෙන් පෙළුණු, ගුවන්යානයට නැගීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ව අදාළ ගුවන් ගමන සඳහා ගුවන්යානයට නංවාගැනීම මගින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ අපසහායකත්වය ද මේ අමානුෂික දුක්ඛාන්තයට දායක වී තිබුණු බව පැහැදිලිව පෙනී යයි. ඔවුන්ව රඳවා තබාගන්නා ලද්දේ බලහත්කාරයෙන් වීම සහ ශ්‍රී ලංකා රජය විසින් පිටුවහල් කිරීම සඳහා ගුවන්යානයට නංවා තිබීම යන සාධක පසෙක ලා, රඳවා තබා සිටි දින 2ක කාලය සඳහා ඇමරිකානු ඩොලර් 220ක් ගෙවන මෙන් ද අහ්මදී පවුලට බලකර තිබුණි.

යළි පාකිස්තානයට යාමෙන් පසු, එම අහ්මදි පවුල නැවත තර්ජනවලට මුහුණ දෙමින් සිටියි. ඔවුන්ට අනුව, ප්‍රදේශයේ සුන්නි මුස්ලිම් කණ්ඩායමක්, රට හැරදා යාමට ඔවුන් ගත් උත්සාහය ගැන පවසමින්, ඔවුන්ට පාඩමක් ලෙස ආගමික අපහාස චෝදනා මත රැඳවුම් භාරයට ගන්නා බවටත්, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් පවරාගන්නා බවටත් ඔවුන්ට තර්ජනය කර තිබේ.

තාවකාලික රැඳීසිටින්නන් සහ සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි රටවල ස්ථිර පදිංචිය ලැබෙනතුරු මෙහි වාසය කිරීමට යි. ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ වාසය ද ඉතා අසීරු ය.රජය විසින් ඔවුන්ට මෙහි රැකියා කිරීම තහනම් කර ඇති අතර, ළමුන් සඳහා අධ්‍යාපනය ලැබීමේ පහසුකම් හෝ ආහාර, නවාතැන් පහසුකම් ද ලබාදෙන්නේ නැත. මේ පිරිසෙන් 2/3කට වැඩි ප්‍රමාණයක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රටෙන් පිටමං කළ අතර, සමහරු පහරදීම් සහ තර්ජනය කිරීම්වලට ද ලක්විය. කෙසේ වුවත්, ඒ තත්ත්වය පසුගිය මාස කිහිපයේ දී ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2014 වසරේ දී ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් පිටුවහල් කිරීමට විරුද්ධ විය. ඔවුන් දැන් කළ යුත්තේ ද එය යි. එමෙන්ම පෙර කී අවබෝධතා ගිවිසුම, යොමුකිරීම් අනුදේශ සහ සරණාගතයන්ව ඔවුන් පැමිණි රටවලට නැවත පිටුවහල් නොකිරීම පිළිබඳ ප්‍රතිපත්තිය යනාදියට නිසි ගරුත්වය ලබාදෙමින් කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා රජය පෙළඹවිය යුතු ය. ඡන්දදායකයන් නොවූවත්, සරණාගතයන් ද මනුෂ්‍යයෝ ය. දේශපාලකයන්, දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපි ඔවුන්ව ප්‍රතික්ෂේප කළ නොයුතු අතර, තාවකාලිකව මෙහි රැඳීසිටීමේ අරමුණින් මෙහි පැමිණෙන ඔවුන්ව සාදරයෙන් පිළිගෙන, අනුග්‍රහය සහ රැකවරණය සලසා දිය යුතු ය.

සංස්කාරක සටහන : ලියුම්කරු විසින් 2019 ඔක්තෝබර් 30 වැනි දා මුල්වරට Groundviews වෙබ් අඩවියේ මෙම ලිපිය ‘Sri Lanka resumes deportation of asylum seekers’ යනුවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් පළ කොට තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s